Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

img

අපි සාමාන්‍යයෙන් දරුවන් දකින්නේ ප්‍රශ්නවලින් තොර, නිදහස්, විනෝදකාමී කුඩා මිනිසුන් පිරිසක් ලෙසයි. අන්න ඒ නිසයි අපිට බොහෝ වෙලාවට ‘ආයෙත් ළමා කාලෙට යන්න ඇත්නම්’ කියලා කියවෙන්නෙ. ඒක ඇත්තක්. අපි නිතරම දකින්නෙ දරුවන් සතුටින්, විනෝදයෙන් ඉන්නා අන්දමයි. නමුත් වැඩිහිටි අපට වගේම දරුවන්ටත් දුක් සංකා ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. මේ පිළිබඳ අවබෝධයෙන් පසුවීම දරුවන් ආතතියට පත් වීමෙන් වළක්වා ගැනීමට ඔබට උපකාරී වෙනවා.

දරුවන්ට වැඩි වශයෙන් උපකාර අවශ්‍යයි

එදිනෙදා ජීවිතයේදි යම් ප්‍රමාණයකට ආතතියට මුහුණ දෙන්න සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් හැටියටයි සැලකෙන්නෙ. නමුත් යම් යම් අත්දැකීම් හෝ සිදුවීම් නිසා දරුවන් ආතතියට පත් වන්නේ නම් ඔවුන් තුළ ධනාත්මක ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ගිලිහී යන්නට පුළුවන්. මේ නිසා එවැනි තත්ත්වයකට මුහුණ පා ඇති දරුවන්ට උපකාරයක්, මානසික සුවපහසුවක් ලබා දීම අත්‍යවශ්‍යයි. කථනය සහ චිත්තවේග නියාමනය වැනි බොහෝ කුසලතා වර්ධනය කර නොගත් ඉතා කුඩා දරුවන්ට පවා ආතතිය බලපෑ හැකි බැවින්, ඔවුන්ගේ දෛනික ජීවිතයේදී දෙමාපියන් සහ ඔවුන් රැකබලා ගන්නන් ලෙස අපගේ උපකාරය ඔවුන් වෙත ලබා දීම ඉතා වැදගත්. 

ආතතියට බලපාන සාධක හඳුනාගෙන වැළැක්වීම

දරුවන්ට ආදරය සහ රැකවරණය සපයන වැඩිහිටියන් වශයෙන්, දරුවන්ට ආතතිය ඇති කරන හේතු හඳුනා ගැනීම හා ඒවා අවම කර ගැනීමට කටයුතු කිරීම අපේ වගකීමක්. වඩා වැදගත් වන්නේ, දරුවන් අනවශ්‍ය ලෙස ආතතියට පත් විය හැකි අවස්ථා හැකිතාක් අවම කරගැනීමයි. පොදුවේ, ආතතිය ලෙස හඳුන් වන්නේ බිය හෝ කනස්සලු සිතුවිලි වැඩි වශයෙන් පහළ වීමයි. දරුවන් කෙරෙහි ආතතිය ඇති වීම සඳහා අභ්‍යන්තර හා බාහිර හේතු ඉවහල් විය හැකියි. 

පළමු වතාවට දෙමාපියන්ගෙන් වෙන් වූ විට දරුවන් කනස්සල්ලට පත් වනවා. පාසලෙන් දෙන ගෙදර වැඩ, පාසැලේ හෝ මිතුරන්ගේ ගැටලු, දින චර්යාවේ වෙනස් වීම්, පවුලේ හෝ පාසලේ වෙනස්කම් වැනි කරුණු ඔවුන්ව ආතතියට පත් ඇති කළ හැකි සාධක සේ සලකන්න පුළුවන්. දරුවා තුළ ඍණාත්මක ස්වභාවයක් නොතිබුණත් පළමු වතාවට පාසලට යාම, අලුත් තැනකට යාම වගේ කරුණු නිසා දරුවා ආතතියට පත් වීමේ වැඩි ඉඩක් තියනවා. 

img

දරුවන් ජීවිතයේ අත්විඳින විවිධ දේවල්වලින් පවා කනස්සල්ලට සහ ආතතියට පත් වෙන්න පුළුවන්. අවට සිටින පුද්ගලයන්ගේ ජීවිතවල සිදුවන දෑ අහන දකින එකත්, දෙමාපියන්ගේ ගැටුම්, බහින්බස් වීම්, වැඩබිමේ, මිතුරන්ගේ හෝ ඥාතීන්ගේ ප්‍රශ්න දරුවන් ඉදිරිපිට කතා කිරීමත් ඔවුන්ට ආතතිය ඇති කිරීමට හේතු විය හැකියි. දෙමාපියන් කණගාටු වන දේවල් ගැන දරුවාත් කණගාටු වීම ඉතාමත් ස්වාභාවිකයි. ඒ අතරම, සංවේදී පින්තූර, වීඩියෝ, ප්‍රවෘත්ති ආදියත් දරුවන්ට ආතතිය ඇති කළ හැකි මාධ්‍යයන් වනවා. තමන්ගේ සමීපතමයන්ට එවැනි කරදරයක් සිදු වේ යැයි බියට පත් වීම හා දිගින් දිගටම ඒ පිළිබඳ සිතන්නට පෙළඹීමත් දරුවා තුළ ආතතිය වර්ධනය කරනවා.

ළමුන් තුළ ආතතිය ඇති කරන සියලුම සාධක වළක්වා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත්, දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට ඔවුන්ගේ පාලනයේ ඇති සරල දේවල් පිළිබඳ දැනුවත් වී සිටින්නට හැකි නම් දරුවන් අනවශ්‍ය ආතතියෙන් මුදා ගන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඇතැම් නොවැළැක්විය හැකි දේවල්වලට මුහුණ පෑම සඳහා දරුවන් කල්තියා සූදානම් කරන්නටත් පුළුවන්. අපගේ සහයෝගය සහ අවබෝධය මේ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දරුවන්ගේ හැඟීම් පිළිගැනීම, සිතුවිලි බෙදාගැනීම සහ විවෘත සාකච්ඡා වැනි ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ගේ විශ්වාසය වැඩි කරමින් ආතතිය අවම කිරීමේ හැකියාව තිබෙනවා. 

ජීවිතයේ මුල් අවදියේ සිටම දරුවන්ට අභියෝගවලට මුහුණ දීමේ කුසලතා වර්ධනය කිරීම, මානසික ආතතිය පාලනය කිරීමේ තවත් එක් ඵලදායී ක්‍රමයක්. ගැටලු විසඳීමේ හා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන ක්‍රියාකාරකම්වල නියැලීමත් ආතතිය අවම කිරීමට උපකාර වෙනවා. මෙහිදී විශේෂයෙන්ම දෙමාපියන් වෙත පැවරෙන වගකීමක් තමයි දරුවන්ගේ දෛනික චර්යාවන් පිළිබඳ විමසිල්ලෙන් සිටීම සහ අනවශ්‍ය ලෙස දරුවන් කාර්යබහුල නොකිරීමට වගබලා ගැනීම. පවුලේ අය සහ හිතමිතුරන් සමඟ නිදහසේ කාලය ගත කිරීමටත්, විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමු වීමටත් දරුවාට ඉඩ ප්‍රස්තා සලසා දිය යුතුයි.

දරුවන් ආතතියට පත් වූ විට චර්යාත්මක හා ශාරීරික වෙනස්කම් පෙන්නුම් කරනවා. බොහෝ වෙලාවට, දෙමව්පියන්ට එවැනි ගැටලු මඟහරවා ගැනීමට ඔවුන්ට සහාය ලබා දෙන්න පුළුවන්. ඔරොත්තු දීමේ හැකියාව සහ ආත්ම විශ්වාසය දරුවා තුළ වර්ධනය කිරීමෙන් මේ සහාය ලබා දිය හැකියි. කෙසේ වෙතත්, වැඩිදුර උපකාර අවශ්‍ය බව හැ‌ඟෙන අවස්ථාවක් නම් තවත් ප්‍රමාද නොවී වෘත්තීයවේදියෙකු වෙත යොමු වීම නුවණට හුරුයි. දරුවා පිළිබඳ මනා අවබෝධයක් තිබීම සහ මනා සබඳතාවක් දරුවා සමඟ ගොඩනඟා ගැනීම ඕනෑම ප්‍රතිකාරයක් සඳහා වැදගත්ම සාධකයක් බවත් මතක තබා ගන්න. 

උපදෙස්

  • අභ්‍යන්තර හා බාහිර හේතු සාධක නිසා දරුවා ආතතියට පත් විය හැකියි
  • දරුවා ආතතියට පත් කළ හේතු හඳුනා ගැනීම සහ එවැනි අවස්ථා මඟ හැරීම ඉතා වැදගත්
  • නොවැළැක්විය හැකි අවස්ථාවන් සඳහා ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට දරුවා සූදානම් කරන්න
  • දරුවා සමඟ ගුණාත්මක සබඳතාවක් පවත්වා ගැනීම දරුවාගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමට හේතු වෙනවා
  • ආතතියට මුහුණ දීමට අවශ්‍ය කුසලතා දරුවා තුළ වර්ධනය කරන්න

Recommended Articles